Thursday, May 24, 2012

ලොව දැනට බිහිවී සිටින සාර්ථකම ධනාත්මක චින්තකයා. (සෑම අයෙක්ම කියවන්න ජීවිතයට අරුතක් අදම එක්කරන්න)

1 comments
Nicholas James Vujicic

1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

"දෙවියනේ. . මේ මොකද ?"

ඇය හඬමින් ඇසුවේ සයනය වට කරගෙන සිටි රෝහල් කාර්යය මණ්ඩලයෙනි. ඒත් ඔවුන් නිහඬ ය. සිඟිති පොරෝණය තුළ උණුසුමට ගුලි වී සිටින පුතු දෙස අම්මා යළිත් ඕනෑකමින් බැලුවා ය.

"අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්"

ප්‍රීතිය වසා ගත් දුකකින් බයකින් සහ අවිනිශ්චිතභාවයකින් සිත පිරී යද්දී ඇය පුංචි පුතු ආදරයෙන් තුරුළු කර ගත්තාය.

ඒ පුතු නිකලස් ජේම්ස් වෝයිඅචිච් ලෙස නම් කෙරුණි. ඒත් පවුලේ සියල්ලෝම ඔහු ඇමැතුවේ ‘නික්’ ලෙසයි. නික් ගේ ජීවිතය ආරම්භයේ පටන් ම අභියෝගයක් විය. 



උපතින්ම දෙඅත් සහ දෙකකුල් අහිමිව උපත ලද නික් දෙස බැලූ බොහෝ දෙනෙකු ඔහුට අනුකම්පා කළේය. වෛද්‍යවරු මෙම අවාසනාවන්ත ඉරණම ටෙට්රා ඇමේලියා (Tettra – Amelia) නම් අතිශය දුර්ලභ රෝගී තත්ත්වය ලෙස හඳුන්වා දුන්නෝය.

නික් කළේ එකම එක දෙයක් පමණි. උදේ සිට හවස් වන තුරුම ඔහු දෙවියන් වහන්සේට යාඥා කළේය. ‘පුළුවන් තරම් ඉක්මනට මගේ අත් කකුල් මවලා දෙන්න’ විටෙක හඬමින් තවත් විටෙක තරහින් ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. නික්ගේ සිරුරේ පුංචි පතුල් දෙකක් පිහිටා තිබුණ නිසා ඔහු වරින් වර ඒ දෙපතුල් ආධාරයෙන් අකුරු ලියන්නට උත්සහ කළේය. ඒත් සැනෙකින් ඒ කරදරකාරී මහන්සිය ඔහුටම එපා වුණි.

නික්ගේ මවුපියන් පුංචි පුතු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලකට ඇතුළත් කළේ ජීවිතයට යළි බලාපොරොත්තු මැවීමේ අයිතිය පවරා ගනිමිනි. ඒත් යහළුවන්ගේ උසුළු විසුළු නික්ට මුළු ජීවිතයම එපා කරවීය.

"දවසක් මං කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මගේ දිහා හොඳට බැලුවා. මට ඕන වුණේ ලස්සනයි කියලා පේන මොනවා හරි මගේ සිරුරෙ තියෙනවද බලන්න. මං මගේ ඇස් දෙක දිහා බලා හිටියා. ඔය තියෙන්නෙ තරු වගේ ඇස් දෙකක්. මගේ ඇස් ලස්සනයි. කාටවත් ඒක නම් වෙනස් කරන්න බැහැ කියලා මම මටම කියා ගත්තා. එතකොට මට අවුරුදු හයයි" 

නිකලස් වෝයිඅචිච් මෑතකදී සිය කුඩා කළ මතකය අවදි කරමින් කියා සිටියේය. දැන් නික් තිස්හැවිරිදි තරුණයෙකි. නොහැකියාව ජීවිතයට ආශිර්වාදයක් කර ගත් අපූරු තරුණයෙකි. පුංචි කාලයේ දෙවියන්ගෙන් ඉල්ලූ අතපය තවමත් ඔහුට ලැබී නැත.

"ඒත් දෙවියෝ මට හොඳ ජීවිතයක් දුන්නා. හැමදේටම වඩා මට මේ ලෝකෙ හොඳම අම්මාව දුන්නෙ එයානේ. ඒ නිසා මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා" නික් කියයි.

සැබවින්ම නික්ගේ මව ධෛර්යවන්ත කාන්තාවකි. අවාසනාවන්ත ඉරණමක් පෙරටු කර ගෙන උපන් නික්ට ඇය දෙවන වතාවටත් ජීවිතය දුන්නාය. වයස අවුරුදු 8 දී නික් සිය ආබාධිත බව නිසාම දැඩි මානසික පීඩාවකට ලක් වී සිටියේය. 


ඔහු වරක් සියදිවි හානි කර ගැනීමටද උත්සහ කළේය. වයස අවරුදු 10 දී වතුරට පැන වතුරේ ගිලි මියයාමට උත්සාහ කළේය. නික්ගේ මව පුතුගේ හිත හැදීමට නොගත් උත්සහයක් නැත. දිනක් ඇය නික්ට පත්තර පිටුවක් දුන්නාය.

ඒ පත්තර පිටුව නික්ගේ මුළු ජීවිතයම වෙනස් කළේය. එහි වූයේ ආබාධ රැසක් සහිතව සතුටින් ජීවත් වෙන මිනිසෙකුගේ කතාවකි. මෙවන් ඉරණමකට මුහුණ දුන් ලෝකයේ එකම එක්කෙනා තමා නොවන බව නික්ට වැටහුණි.

"මාත් හැමෝටම ආදර්ශයක් වෙන්න ඕන"

පුංචි නික් එදා තීරණය කළේය. අද ඔහු ඒ ඉලක්කය ජයගත් ජයග්‍රාහී මිනිසෙකි.

ඔහු උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කළේය.ලිවීමට මෙන්ම තනිව බොහෝ දේ කිරීමට ඔහු පුරුදු විය.පාසලේ නායකයා බවට මෙන්ම ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද නික් තේරී පත් වුණි. ඔහු සිය යහළුවන් සමඟ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධාන කළේය. වයස අවුරුදු 17 දී ඔහු ‘Life Without Limbs’ නැමැති සුබ සාධන ආයතනය ඇරැඹීය.

වයස අවුරුදු 21 දී නිකලස් වෝයිඅචිව් උපාධි දෙකකම හිමිකරුවෙක් වීමට තරම් වාසනාවන්ත විය. ඔහු උපාධි ලබා ගත්තේ ගිණුම්කරණය හා ආර්ථික කළමනාකරණය පිළිබඳවයි.

ඊළඟට නික් සිය ජීවිතය ජයගත් හැටි ලෝකයට කීවේ ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව පවසමිනි. 

අද නිකලස් වෝයිඅචිච් ජනප්‍රිය දේශකයෙකි. සුබවාදී ආකල්ප ඇති කර ගැනීම පිළිබඳ නික්ගේ දේශන සඳහා දහස් ගණනක් දෙනා සහභාගී වෙති. නික් මේ වන විට රටවල් 25 කට පමණ ගොස් දේශන පවත්වා තිබේ.

ඔහු ලියූ ‘Life Without Limits’ පොත මෙන්ම ‘Life’s greater purpose’ සහ ‘No Arms – No Legs – No worries’ නමැති සුබවාදී අදහස් සහිත DVD පට සඳහාද ලොව පුරා ඇත්තේ අතිශය ඉල්ලුමකි.

නික් අසාමාන්‍ය මිනිසෙකි. නමුත් ඒ ඔහුගේ ආබාධිත බව නිසා ඇති වූ අසාමාන්‍ය බවක් නොවේ. ඔහු ඒ අභියෝගාත්මක ජීවිතය සිනහවෙන් දරා ගන්නා අසාමාන්‍ය මිනිසෙකි. අත් කකුල් ඇති අයෙකු මෙන්ම ඔහු ජීවිතය විඳින්නේය. ටෙනිස් ක්‍රීඩා කිරීම, පිහිනීම, බෙර වාදනය නික්ගේ ප්‍රියතම විනෝදාංශයි. ඔහු සියලු කටයුතු තනිවම ඉටු කර ගනී. දත් මදින්න, ඔළුව පීරන්න පමණක් නොව එකම එක වතුර බිදුවක් හෝ බිම නොහෙලා වතුර වීදුරුවකින් වතුර බොන්නත් නික්ට පුළුවනි.

නික් "The butterfly circus" කෙටි චිත්‍රපටයේ රංගනයෙන්ද දායක විය. එම චිත්‍රපටය සඳහා Method feat සිනමා සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

"මං පොඩි කාලෙදි හැමෝම මගේ දිහා අමුතු විදියට බලනවා මට දරාගන්න බැරි වුණා. මගේ අම්මා කිව්වා එහෙම බලන අය එක්ක හෙඳට හිනාවෙලා කතා කරන්න කියලා. ඇත්තටම එතකොට ඒ අයට වගේම මටත් මගේ ආබාධිත බව අමතක වුණා මොහොතකට. 

ඒත් මට කවදාවත් අතට අත දීලා කතා කරන්නවත් කාවවත් වැළඳ ගන්නවත් බැරි වුණා. ඒත් ඒකටත් එක්ක දැන් මම වැළඳ ගැනීමේ මැෂිමක් වෙලා. මගේ දේශන වලට එන හැමෝටම ඕනෙ මාව වැළඳ ගන්න. එතකොට මම හිනාවෙවී පුටුවක් උඩට වෙලා ඒ ආදරේට ඉඩ දෙනවා" 

නිකලස් වෝයිඅචිච් සුන්දර සිනහවක් මුවට නඟා ගනිමින් කියන්නේය. ඔහු අපේ කාලයේ ආශ්චර්යමත් මිනිසෙකි. කිසිදු අඩුපාඩුවක් නොමැති වූ අපූරු ජීවිතයක් ලබා තිබියදී පවා ඉන් ප්‍රයෝජන නොගෙන ජීවිතයෙන් පලා යන්නන් සිටින ලෝකයක නික් අසාමාන්‍ය ජයග්‍රාහකයෙක් වන්නේ ආකල්පමය වෙනසකිනි. ඒ හිතුවොත් කරන්න බැරි දෙයක් නැති බව නික් තරයේම විශ්වාස කරන්නෙකු නිසා ය.






















ලොව දැනට බිහිවී සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන නික් ගේ කතාව ඉහතින් අප සඳහන් කලේ පසුගියදා ඔහුගේ ජිවිතයේ සුවිශේෂී වෙනසක් සිදුවූ නිසාවෙනි.ඒ පසුගිය 12 වෙනදා ඔහු යුග දිවියට එළඹීමයි.



ආකල්ප වෙනස්‌ කර ජීවිතය දිනන්න.

1 comments
අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අපේ ඥති හිතමිත්‍රාදීන්ගෙන් සමන්විත අපේ සමාජ වටපිටාවෙන් අපේ ජීවිතවලට හිමිවන බොහෝ දෑ අතරින් "ආකල්ප" විශේෂයි.

අප ළදරුවන් කාලෙ සිට අපට බැහැරින් එකතු වන ආකල්ප අප සමඟම වැඩෙනවා. කාලයත් සමග අපටම අනන්‍ය වූ ආකල්ප රාශියක්‌ ජීවිතයට බද්ධ වෙනවා. අපට නොදැනීම මේ "ආකල්ප" මගින් අපේ ජීවිත පාලනය කරනවා. ඒ නිසාම ආකල්පමය රාමුවක්‌ තුළ අපේ ජීවිතය සිරවෙනවා. ඒ අතරින් සමහර ආකල්ප මගින් ජීවිතය මන්දගාමී බවට පත් කරනවා. නමුත් ධනාත්මක, ශුභවාදී ආකල්ප ජීවිතය ජය ටැඹ කරා 

රැගෙන යනවා.

"ජීවිතය දිනන්න" මොන තරම් ඕනෑකමක්‌ ඔබ තුළ තිබුණත්, සමහර අශුභවාදී ආකල්ප ඔබට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ.

"මේ තමයි මම ලබා උපන් හැටි" 

"කරුමය තමයි උරුමය"

"ඉන්න ටික කාලෙට ඔය තරම් දේ මොකටද?"

"වාසනාව නැතිනම් කිසි දෙයක්‌ හරියන්නේ නැහැ"

මේ වගේ පරාජිත ආකල්ප නිසා ඔබ සිටින තැනින් අඩියක්‌වත් ඉදිරියට යන්නට ඔබට බැහැ. ඔබගෙ "දෛවය" පාලනය කරන්නෙ ඔබ තුළ කි¹ බැසගත් එවැනි ආකල්ප. ඔබ තුළ ඇති තවත් සමහර ආකල්පවලට තිබෙන්නේ අසීමාන්තික බවක්‌. 

"කනවනම් ඇතිවෙන්න කන්න ඕනේ"

"සල්ලි කොපමණ තිබුණත් මදි"

මේ වගේ ආකල්ප තිබුණොත් ඔබ කොතරම් ඉදිරියට ගියත්, මොන තරම් දෙ අත්පත් කර ගත්තත් ඔබට සෑහීමක්‌ නෑ. මොන තරම් ජයග්‍රහණයක්‌ ලබාදී වුණත් සෑහීමක්‌ නෑ. මොන ජයග්‍රහණයක්‌ ළඟඳී වුණත් ඔබ ඉන්නේ අතෘප්තියෙන්, අසතුටින්. ජීවිතය දිනනවා කියන්නේ මුදල්වලින් ආඩ්‍ය වීම පමණක්‌ නොවෙයි. සතුට, ආදරය, සැනසිල්ල, නිරෝගිකම මේ සෑම දෙයක්‌ම ජයග්‍රාහී ජීවිතයකට අයිති දේවල්. මොනතරම් ධනවත් බවක්‌ තිබුණත්, ආකල්පවලින් ඔබ දුගී නම් ඔබ අසාර්ථකයි. ඒ නිසා ලද දෙයින් සතුටු විය හැකි ආකල්ප ඔබ ඇති කරගත යුතුමයි. එහෙම නොවුණොත් ජීවිත කාලය පුරාවටම ඔබ වෙහෙස මහන්සි වේවි. ඒත් ඔබට ඉතිරි වන්නේ වෙහෙසක්‌ම පමණයි.

ජයග්‍රාහී ජීවිතයක්‌ පතන ඔබ ඔබේ පරාජිත ආකල්ප ජයග්‍රාහී ආකල්ප බවට පත් කරගත යුතුයි. ඔබේ අතෘප්තිමත් ආකල්ප තෘප්තිමත් ආකල්ප බවට පත් කර ගත යුතුයි.

නිතරම නැහැ - බැහැ කියන සෘණාත්මක ආකල්ප වෙනුවට "ඔව් මට පුළුවන් මට ශක්‌තිය තිබෙනවා" වැනි ධනාත්මක ආකල්ප ඇති කර ගත යුතුයි.

හුදු ආකල්ප වෙනස්‌ කරගත් පමණින්ම ජීවිතය වෙනස්‌ කරගත් මිනිසුන් ගැන ඕනෑ තරම් සාක්‍ෂි අතීතයෙන් වගේම, වර්තමානයෙන් ද සොයාගත හැකියි.

මිනිසාට කිසි දිනක ඉගිලෙන්නට බැහැයි ආකල්පයක්‌ තිබූ යුගයක රයිට්‌ සොහොයුරන් "ගුවන් යානය" නිර්මාණය කළේ ඔවුන් තුළ වූ ආකල්පමය වෙනස නිසාමයි.

"හෙන්රි ෆොඩ් මහතා පළමු "ෆොඩ්" රථය නිර්මාණය කරන විට ඔහු වටා සිටියවුන්ගේ ආකල්පය වූයේ සතුන්ගේ උදව් නොමැතිව කිසිදින රථයක්‌ පදවාගෙන යා නොහැකි බවයි.

ලෝකය මවිත කළ ශේ්‍රෂ්ඨ නිර්මාණයන්ගේ හිමිකරුවන්, නව ආකල්ප නිර්මාණකරුවන් වූ නිසාමයි. ලොව දිනූ නිර්මාණ බිහි කළේ.

ඔබේ බාහිර පෙනුමට, ඔබේ පෝෂණ රටාවට, ඔබේ

රැකියාවේ ස්‌වභාවයට පවා ආකල්ප දැඩි බලපෑමක්‌ ඇති කරනවා.

කාලයක්‌ තිස්‌සේ මුල් බැසගත් ආකල්ප එක්‌වරම වෙනස්‌ කරන්නට බැහැ. ඒතA දැඩි උවමනාවෙන් කැපවීමෙන් ක්‍රියා කළොත් පැරැණි සෘණාත්මක ආකල්පවලින් මිදී නව ධනාත්මක සුබවාදී ආකල්ප ඇති කරගන්නට පුළුවනි. ඒ සඳහා අවැසි පොතපත කියෑවීමෙන්, සරුසාර මතයක්‌ ඇති නිවැරැදි කතා බහ ඇති මිනිසුන් ඇසුරු කිරීමෙන් ආකල්ප වෙනස්‌ කරගන්නට පුළුවනි.

"ජීවිතය" වෙනස්‌ කරන්නට පළමුව ඔබේ ආකල්ප වෙනස්‌ කළ යුතුයි. මන්ද ඔබේ ආකල්ප ඔබේ ජීවිතය බවට පත් වන බැවිනි.

Friday, May 18, 2012

ඍණාත්මක චින්තනයට එරෙහිව...

0 comments
ධනාත්මක චින්තනයක් ගැන කතා කරන්නට සිදු වී තිබේ. ඒ කුමක් නිසා ද? ඍණාත්මක චින්තනයක් ද ඇති හෙයිනි. ලොව, මෙබඳු තත්ත්ව හැම දා මත් ඇති විය. එබැවින් මෙය අදට සීමා වුණු දෙයක් නො වන බව කිව යුතු ය. ඇතැම් කාලවල ධනාත්මක චින්තනය හොඳින් ක්‍රියාත්මක වේ. තවත් ඇතැම් කාලවල ඍණාත්මක චින්තනය හිස ඔසොවයි. මේ දෙකට ම ස්වාභාවික හේතු බලපායි.
මනුෂ්‍ය වර්ගයාගේ පොදු යහපත උදෙසා සපුරාගත යුතු ඉලක්ක ඇත. එම ඉලක්ක සපුරාගැන්මට ක්‍රියා කිරීමේදී සිතන පිළිවෙළක් ද ඇත. එම සිතන පිළිවෙළ ධනාත්මක චින්තනය ලෙස මට වැටහේ. මෙම ඉලක්ක පොදු මනුෂ්‍ය වර්ගයා සඳහා ම විය යුතු ය.
ඍණාත්මක චින්තනය ලෙස සැලකිය යුත්තේ, ධනාත්මක චින්තනයේ අනෙක් පැත්ත ය. තෝරා ගත් ඉලක්ක සපුරා ගනු පිණිස, ක්‍රියා කිරීමේදී සමාජයේ එක්තරා පිරිසකට වාසි සැලසෙන ලෙස සිතන පිළිවෙළ ය. මේ චින්තන රටාව නිසා මනුෂ්‍ය ප්‍රජාවේ අතිවිශාල පිරිසකට අවාසි සැලසීම අනිවාර්ය වේ.
වාසි ලබාගැනීමට, වස්තු ලබාගැනීමට, යස ඉසුරු ලබාගැනීමට කවුරුත් කැමැති වෙති. එබැවින් ඍණාත්මක චින්තනය සමාජය කෙරේ බලපාන විට, මනුෂ්‍ය ප්‍රජාවේ ඉතා වැඩි පිරිස දුකට පත් වෙති. ඔවුහු පීඩිත පන්තිය ලෙස සමාජයෙන් කොන් වෙති. ඒකාධිපති පාලන ක්‍රම පවතින රටවල මේ තත්ත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වේ. යථෝක්ත පීඩිත පන්තියේ සිත් තුළ, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම පුපුරා යන්නට පටන් ගනී. ඇතැම් දේශපාලන බලකාමීහු මේ තත්ත්වය ආයුධ කරගෙන, දේශපාලන වාසි ලබාගැනීම පිණිස පීඩත පන්තිය – උණුසුම් කරති. ඒකරාශි වීමේ වාසිය පෙන්වා ඒ සඳහා ක්‍රෝධයෙන්, වෛරයෙන් ඔවුන් සන්නද්ධ කරති.
මේ අනුව ධනාත්මක චින්තනය දියුණු වන කාලවල ලෝක ප්‍රජාවට මහත් සැනසිල්ලක් උදා වනු ඇත. මිතුරුකම් වර්ධනය වනු ඇත. සිත්වල මෛත්‍රිය පදිංචි වනු ඇත. එකිනෙකාට උපකාරී වීමේ කැමැත්ත වැඩෙනු ඇත. සියලු මනුෂ්‍ය ප්‍රජාව එක ම මිනිස් පවුලක් යන හැඟීම වර්ධනය වනු ඇත. මේ අන්දමට මනුෂ්‍යත්වය හෙවත් මනසින් උසස් වීම ප්‍රත්‍යක්‍ෂයක් බවට පත් වනු ඇත. එබඳු සමාජවල ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රම හොඳින් ක්‍රියාත්මක වේ. බුදුන් දවස ලිච්ඡවි රජුන් අතර මේ තත්ත්වය පැවැතිණි. බුදු හිමි ගේ සංඝ සමාජ රටාව ද මෙබඳු විය. “තමන් විසින්ම තමන් පාලනය කර ගනු ලැබීම” – එහි සාමාන්‍ය මූලධර්මය යි. ඒත් ඒ සඳහා ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම වන, සමඟියෙන් රැස් වීම, සමඟියෙන් අදහස් හුවමාරු කරගැනීම, වෘද්ධයන්ගේ හඬට කන්දීම, විරුද්ධවාදී මත ඉවසීම, අන්තිමට එළඹගත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී කවුරුන්ගේත් සහාය ඒවාට නොමඳව ලැබීම යන මූලධර්ම බලපා ඇති බව පෙනේ. එබඳු පාලන ක්‍රම උදෙසා ඍෂිවරුන් විසින් ප්‍රකාශිත අදහස් ඇතුළත් නීති ග්‍රන්ථ ද එකල විය. පංචතන්ත්‍රය, හිතෝපදේශය එබඳු ග්‍රන්ථ ය.
ඍණාත්මක චින්තනය හිස ඔසොවන කාලවල ප්‍රජාව අතර අසමඟිය වර්ධනය වේ. එකිනෙකා අතර විශ්වාසය පලුදු වේ. එක ම පවුලේ නෑයන් අතර පවා ගැටුම් හට ගනී. මේ හේතු නිසා පොදු සාමාන්‍ය හා දුප්පත් පීඩිත ජනතාව තමන්ට අහිමි ව ඇති අපේක්‍ෂා දිනාගනු පිණිස වැඩ වර්ජන, උපවාස, කෝලාහල, මරාගැනීම් වැනි වෘත්තීය ක්‍රියා මාර්ග අනුගමනයට පෙලඹෙති. තම යහපතට හරස් වන කවුරුන් වුවත් මරාදැමීම හරි ය කියා සිතන තරමට මේ තත්ත්වය දියුණු වේ. “තමන් පතන තත්ත්වය වළකින්නේ පියා නිසා නම්, පියා වුවත් මරාදැමිය යුතු ය” කියා ඉගැන්වෙන නීති ග්‍රන්ථ ද ඒ අනුව බිහි විය. කෞටිල්‍ය චානක්‍යගේ අර්ථ ශාස්ත්‍රය එබඳු ග්‍රන්ථයකි.
මනුෂ්‍යයා සතු සියලු ඓතිහාසික යුග ද, පුරාණෝක්ති ද, පාරම්පරික විශ්වාස ද, දේව ඇදහිලි ද, දේව නිර්මාණවාද ද යනාදි ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුම් සම්භාරය ම, විමංසිද්ධිපාදයේ පිහිටින් විමර්ශනයට ලක්කිරීමේදී පෙනී යන්නේ, පූර්වෝක්ත චින්තන රටා දෙක, කලින් කල ලෝකය කැලැඹීමටත්, යළි නිවාදැමීමටත් බල පා ඇති සැටිය යි.
අත්ලාන්තික් සාගරය පිහිටි භූමිය ඉතා ඈත අතීතයේදී ධනාත්මක චින්තන ක්‍රමය නිසා දියුණුවෙන් අගතැන්පත් ව තුබූ පෙදෙසකි. එහි විසූවෝ අවශ්‍ය අපේක්‍ෂා ඉටු කරගැනීම පිණිස ඕනෑ ම අපරාධයක් කිරීමට පෙලඹීම වැනි හේතු නිසා එම මහාද්වීපය මූදේ ගිලා බැස ඇත (වර්තමාන ගවේෂණවලින් ද මේ බව තහවුරු වී ඇතැයි යෙති). මා මෙහි සඳහන් කළේ එක්තරා පුරාණෝක්තියක් හැටියට ය.
වර්තමානය හෙවත් අප ජීවත් වන මේ ඉන්ද්‍රිය ගෝචර වන ඓතිහාසික යුගය, දෙසට හැරෙමු. එහිදී අපට මේ චින්තන රටා දෙකේ ම බලපෑම් දක්නට හැකි ය. එහි දී ඍණාත්මක චින්තනයේ බලපෑම වඩ වඩාත් වේගයෙන් ඉදිරියට එන සැටි කාටත් ප්‍රත්‍යක්‍ෂ කරුණකි. දෙවන අත්ලාන්තික් යුගයක් කරා අපි ගමන් කරමින් සිටිමු. මෙකල ලොව පුරා සිදු වන ස්වාභාවික විනාශවීම් අනු ව එම තීරණයට බැස්ස හැකි ය.
ශරීරයේ රෝගාබාධ ඇති විට දුක් වේදනා හට ගනී. එවිට ඉන් මිදීමට අවශ්‍ය පිළියම් නොසොයා ඉන්නට බැරි වේ. මනුෂ්‍යාභිවර්ධනය පිළිබඳ අතිදීර්ඝ කතාව ඔස්සේ ආපසු හැරී බැලුවොත් කායික රෝගවලින් මිදීම පිණිස ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට වෛද්‍ය ශාස්ත්‍රය පහළ වූ බව සිතාගත හැකි ය. ඒත් අද දක්වා ම කායික රෝගවල අඩුවක් නැත. පිළියම් සෙවීමේ අඩුවක් ද නැත. අලුත් අලුත් රෝග හටගනී. ඒවාට ප්‍රතිකර්ම ද සොයාගැනේ. මේ තත්ත්වය දිගට ම පවතී.
ඍණාත්මක චින්තනය වනාහි මනුෂ්‍ය ප්‍රජාවට ම පොදුවේ වැලඳෙන රෝගයකි. ඉන් මනුෂ්‍ය ප්‍රජාවට ම දුක උරුම වෙයි. එබැවින් ඊට පිළියම් සෙවීමට සිදු වේ. ඒ අනුව ධනාත්මක චින්තනයක අවශ්‍යතාව මතු වේ.
ලෝක බලවත්තු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස්මූණ පැලඳගෙන, තම අභිමතය පරිදි ලෝක ප්‍රජාව මෙහෙයවීමේ උත්සාහයේ යෙදෙති. ඍණාත්මක චින්තනය ඉතා වේගයෙන් ඉදිරියට එනු පෙනේ. එහි ප්‍රතිඵලය ලෙස ලොව පුරා වෙසෙන ඉතා වැඩි ජනතාවට බඩගින්න, ලෙඩ රෝග, නිවාස නැතිකම, රැකියා නැතිකම වැනි “මූලික මනුෂ්‍ය අවශ්‍යතාවල අවපාතයක්” වර්ධනය වනු පෙනේ. මේ පිරිස පෞද්ගලික හැකියා අතින් හීනයෝ ය. එබැවින් ඔවුහු විවිධ ක්‍රම උපක්‍රම මගින් කෙසේ හෝ තම අවශ්‍යතා සපුරාගැනීමට පෙලඹී සිටිති. පුදුමය නම් මේ දෙපිරිස ම ප්‍රසිද්ධියේ ප්‍රජාතන්ත්‍රය ගැන කතා කිරීම ය.
මේ තත්ත්වය ද අද ඊයේ හදිසියේ හටගත්තක් නො වේ; මනුෂ්‍යාභිවර්ධනයේ ආරම්භයේ සිට ම වැඩෙන්නකි. මුලදී බලවත් පිරිස, දුන්නෙන්, තෝමරයෙන්, කඩුවෙන්, තුවක්කුවෙන් තම බලය වර්ධනය කරගත්හ. ඒත් අද වන විට බෝම්බවලින්, පොකුරු බෝම්බවලින්, පරමාණු බෝම්බවලින්, රසායනික අවිවලින් සහ තවමත් හෙළි නොකළ භයානක උපක්‍රම මගින් තම ජයග්‍රහණ තිර කරගැන්මේ නිරතව සිටිති.
ඒ අතර පීඩාවට පත් අතිවිශාල පිරිස ද නිකම් බලා නො සිටිති. ගරිල්ලා උපක්‍රම මගින් රහසේ ද, වැඩ වර්ජන, උපවාස, පෙළපාළි, මිනිස් බෝම්බ මගින් එළිපිට ද ප්‍රතික්‍රියා දක්වති.
මේ අතර මේ දෙපිරිස ම මානුෂික හැඟීම්වලින් ද ආධ්‍යාත්මික දියුණුවෙන් ද, දවසින් දවස පිරිහෙති. ධර්මය වනගත වෙමින් පවතී. මීට අදාළ පැරැණි ආප්ත වචන දෙකක් යන්තමින් හෝ මෙහි සඳහන් කිරීම උචිත යයි මට ඇඟේ. ඒ මෙසේ ය.
නිස්සාරා පෘථිවි නිරෞෂධි රසා
නීචා මහත්වං ගතා
රාජා අර්ථ පරායනෝ භුමිතලේ
විප්‍රාන්‍යකර්මස්ථිතාඞ
භාර්යා බන්ධුසු බන්ධ වෛරි හෘදය
පුත්‍රේ පිතුර් ද්වේෂතා
ඉත්ථං භූතමිදං ජගත් කලියුගේ
ධර්මෝ වනාත්ත්‍රං ගතඞ
(ප්‍රත්‍ය ශතකය)
එහි සාමාන්‍ය අදහස මෙබඳු ය:
“දැන් පවත්නා මේ කලියුගයේදී පෘථිවිය නිසරු වන්නට පටන් ගනී. ඖෂධවල රස හීන වන්නට පටන් ගනී. නීච ගති ඇති පුද්ගලයෝ මහත්වරුන් මෙන් උස් අසුන් අරා වැජඹෙති. පාලකයෝ ධනයට කෑදරයෝ වෙති. ජනතාවට නැණ නුවණ දීමට බැඳී සිටින පිරිස වෙන වෙන කටයුතුවල නිරත වෙති. බන්ධූන් ලෙස සැලකෙන භාර්යා, ස්වාමි, පුත්‍ර, දුහිතෘ ආදි පිරිස උනුන් කෙරේ බද්ධ වෛරීහු වෙති. පියවරු පුතුන් කෙරේ ද්වේෂ කරති. ධර්මයෝ වනගත වෙති.”
රජුන් අදමිටු වත්
වෙති මැතිෙඳී ද එපවත්
දැක උන්ගේ පුවත්
බමුණු ගහපතියෝ ද එගනිත්
උන් දැක දනවු වැසි
දන වෙති අදහමට රිසි
රැක උන් වෙත පැහැසි
සුරන් සිතටත් එදම් අදහසි
එ දැක තුරු දෙවියෝ
වෙති අදහම ම සෙවියෝ
එයින’හස දෙවියෝ
කෙරෙති සිත එදහමින් නොවියෝ
මෙලෙසින් අදහමට
නිරිඳුන් ලොව පැමිණි විට
එරදුන් නතු රටට
හමයි විසම ව පවන් දැඩි කොට
එපවන් වැද සැලෙත
නුබ දෙව් විමන් ගමනොත
කිපුණොත් සුරන් සිත
නො වස්වති වැසි ලොවට කර සෙත
රිවි සඳහු ද තොසේ
යන මඟ නො යති පෙර සේ
එසුරන් වත එසේ
නැති ව වැසි සස් කලට නො පැසේ
එක ගමක ද වැසී
වසිතත් සම ව නො වසී
ඉන් විසම ව පැසී
තිබූ සස් වග ඉතා නො රිසී
ඒ අහර කන බොන
දන හට එයින් වෙන වෙන
රෝ දුක් වන බැවින
ලොවට වැඩ අවැඩ නිරිඳුන් ගෙන
(බුදු ගුණ අලංකාරය, 104 – 111 පැදි)
දැන් මේ මහා අවුල බුදු හිමි දුටු සැටිය දැනගැනීම ප්‍රඥා ගෝචර ය, කියා සිතමි. ඒ අනුව හටගෙන, කලක් පැවැතී විනාශ වන සියල්ල හෙවත් ලෝක පිළිබඳ බලපෑම් කවුරුන් විසින් හෝ කරනු ලබන්නක් නො ව, සුබා දහමේ බලපෑමෙන් ඉබේ සිදු වන්නකි. එ බැවින් මේ ඍණාත්මක හා ධනාත්මක චින්තනවලට මනුෂ්‍ය සන්තානයේ පෙලඹීම සම්බන්ධයෙන්, පුද්ගලයන්ට දොස් පැවැරීමෙන් පලක් නැත.
මේ තත්ත්ව හටගන්නේ, සුබා දහමේ බලවේග පහක් මගිනි.
1. කම්ම නියාම ධර්මය,
2. චිත්ත නියාම ධර්මය,
3. බීජ නියාම ධර්මය,
4. ඍතු නියාම ධර්මය,
5. ධම්ම නියාම ධර්මය
මෙයින් 1, 2, 3 යන නියාම ධර්ම සත්තයා (=මනුෂ්‍යයා) කෙරෙහි ඍජු ව ම බලපායි 4, 5 නියාම ධර්ම දෙක වැඩිපුර බලපාන්නේ භෞතික ලෝක කෙරෙහි ය.
බුදු ගුණ අලකාරයේ දැක්වූ පරිදි 1, 2, 3 නියාම ධර්මත්, 4, 5 නියාම ධර්මත් ක්‍රියාත්මක වීමේදී, ඒ
දෙකේ දැඩි සබඳතාවක් පවතින බව පෙනේ. වර්තමානයේ ලොව පුරා සිදු වෙමින් පවතින සිද්ධි මේ අනුව විමසා බැලීමට, එතරම් නුවණක් අවශ්‍ය වේ ය කියා නො සිතමි.
සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්ම මගින් වැඩි දහම් දැනුමක් හා උසස් නුවණක් නැති සාමාන්‍ය ජනයාට, නිවැරැදි ව්‍යවසාය මහින් මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට මඟ පෙන්නා දී ඇත. ඒත් කිව යුත්තකි. ඒ උදාර ප්‍රතිපත්ති පිරිය හැක්කේ තනි තනිවය. (එක් බඳු අදහස් හා මත ඇති අයට එක්ව වුවත් – පිරිය හැකිය) ඍණාත්මක හා ධනාත්මක චින්තන මෙන්, සියලු ලෝකයාට එකට පිරිය නො හැකි ය. එයට හේතුව ලෙස මා දකින්නේ, ධනාත්මක වැඩපිළිවෙළින් සුබා දහමට විරුද්ධ අතට මඳ වශයෙන් හෝ යෑමක් සිදු වීම ය.
සත්ත්වයා යනු තෘෂ්ණාවේ ක්‍රියාත්මක වීම බැවින්, ධනාත්මක චින්තනය ටික කලක් පැවැති අභාවයට යාම සාමාන්‍ය පිළිවෙළ වේ. මෙකල ඍණාත්මක චින්තනය ඉදිරියට එන අතිමහත් වේගය අනුව බලන විට පෙනී යන්නේ, යළිත් අප අත්ලාන්තික් යුගයක් කරා යමින් සිටින බව ය. මේ තත්ත්වය සම්පූර්ණයෙන් නවතාලිය නොහෙන්නේ, එය සුබා දහමේ බලවේගය අනුව සිදුවන බැවිනි. ඒත් බුදු දහම අනු ව මෙයට පිළියමක් ඇද්දැ යි විමසා බලනු වටී.
යහපත් දර්ශනයක පිටිපසින් හෙවත් යහපත් මනුෂ්‍යයකුගේ පිටිපසින් යන විට (අනුගමනය කරන විට) මේ ගැටලුව සම්බන්ධයෙන් උගත හැකි දෑ බොහෝ ඇති බව පෙනේ. අපි බුදුනුවන් ලෙස තෙරුවන පිටිපසින් යන්නෝ වමු. බුදුන් වහන්සේ මෙකල නැතත්, උන් වහන්සේගේ ධර්මයත්, ඒ ධර්මය අනුගමනය කරන සඟ පරපුරත් අපට තව ම අහිමි වී නැත. ඒ අනුව ගියොත් අපට මිනිස් මනසේ දැන් පවත්නා මේ මහා කැලඹුණු ස්වභාවය සංසිඳුවාගත හැකි ය.
ධනාත්මක චින්තනය කිසි යම් ප්‍රමාණයකට හෝ ඉදිරියට ගෙන යෑ හැක්කේ, මිනිස් මනසේ ධනාත්මක හෙවත් ගුණාත්මක බව වගා කිරීම මගින් පමණ ය. ඒ උදෙසා කළ යුත්තේ, සමථ – විදර්ශනා භාවනා වැඩීම ය. මෙකල අප රටේ සැලකිය යුතු පිරිසක් ඒ මඟට පිවිස සිටිති. එය සතුටට කරුණකි. බලවතුන්ගේ හෙවත් පාලකයන්ගේ යුතුකම වන්නේ, එබඳු සංවිධානවලට දිරි දීම හා තමනුත් ඒවාට බැඳී ධනාත්මක චින්තනය දියුණු කිරීම ය. තමන් ඍණාත්මකව හිඳිමින් එබඳු චින්තන රටාවක් තුළ ක්‍රියාත්මක වෙමින්, පූර්වෝක්ත ආයතනවලට දිරිදීම නම් විහිළුවකි. එය නළුවන් සෙළුවෙන් ඉඳගෙන ප්‍රේක්‍ෂකයන්ට සළු පැලඳවීමක් වැනි ය. මෝහය නිසා මේ ක්‍රියා සිදු වේ. ධනාත්මක ව සිතිය හැක්කේ මෝහයට ප්‍රතිපක්‍ෂ ප්‍රඥාව සිතේ වැඩීමෙකි. ඒ සඳහා භාවනා පුහුණුව හැරෙන්නට, තවත් කළ හැකි දේ ඇත. ඍණ බලවේග බාල කළ හැක්කේ, ඒ බලවේග උපදිනා තැන් දුබල කිරීමෙනි. ඒ සඳහා දුබල කළ යුතු ප්‍රධාන චෛතසික තුනක් දකිමි.
1. කාමාසාව හෙවත් ඉඳුරන් පිනවීමේ කැමැත්ත,
2. ඉඳුරන් පිනවීමේදී ඇතිවීමක් නැතිකම
3. සාපිපාසාව
උපන් මොහොතේම සත්ත්වයාට සාපිපාසා හට ගනී. ඒ ගින්න නිවීම පිණිස ආහාරපාන සෙවීම ඔස්සේ සියලු ඍණ බලවේග ලියලා යයි. මේ බලවේග ඍණාත්මක චින්තයට රුකුල් දෙන ඉන්ධනහල් තුනක් වැනි ය. මේ අනුව, ධනාත්මක චින්තනය සඳහා මුලපිරිය යුත්තේ, ඉඳුරන් පිනවීමේ කැමැත්ත (=කාමය) දුබල කිරීමට මුල පිරීමෙනි. ඒ සඳහා අතෘප්තිකර ආසාව (=අරතිය) මැඬපැවැත්වීමෙනි.
මෙහිදී “සා-පිපාසා” ගැටලුව බරපතළ ම ගැටලුව වේ. මන් ද? එය දිවි පැවැත්මට නැති ව ම බැරි දේ බැවිනි. බුදු හිමි, අධික ව ආහාර - පාන ගැනීමත්, නිරාහාර ව සිටීමත් පිළිබඳව අත්හදාබැලීම් කළහ. ඉන් උන් වහන්සේ උගත් පාඩම අපට කියා දුන්හ. ආහාරය පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාව ලෙස ගත හැකි “ආහාරයේ පටිකූල සඤ්ඤා” වැඩීම ඒ පාඩම යි. මෙහි පටිකූල (=පිළිකුල) යන්නේ අරුත් මෙකල වැරැදි ලෙස ඉදිරිපත් කැරේ. පටිකූල යන්නේ තේරුම “අනුකූල” නො වීම ය. ආහාරය පිළිබඳ ව අනුකූල වීම යනු රස තෘෂ්ණාව වැඩෙන ලෙස ආහාර ගැනීම වේ. එබැවින් ආහාරයේ පටිකූල සඤ්ඤා වැඩීම යන්නෙන් අදහස් වන්නේ ජීවත්වීම උදෙසා අවශ්‍ය පමණ දැන ආහාර ගැනීම ය. මෙය භික්ෂූන්ට පමණක් නො ව, ගිහි ජනතාවටත් වැඩදායක වන බව - කෝසල සංයුත්තයේ දැක්වේ. කොසොල් රජ මගධ නැළියෙන් සතරක බත්, රසවත් රජ බොජුන් සමඟ වළඳා බුදුන් ඉදිරියේ හති දමමින් වාඩිවුණ අවස්ථාවේ බුදුන් ඔහුට මේ අනඟි පාඩම කියා දුන් බව, බණ පොත්වල සඳහන් වේ.
තව ද කරණීය මෙත්ත සූත්‍රයේ දී “කාමේසු විනෙය්‍ය ගේධං” යන්නෙන් කාම වස්තු පිළිබඳ ගිජු බව අත්හරින ලෙස බුදුහු උගන්වා වදාළහ.
නූගත් - නුවණ මඳ ජනතාව සමාජයන්හි සැමදාමත් වැඩි ය. ඒ අයට විදර්ශනාව වැඩෙන ගැඹුරු දහම ගෝචර නො වේ. ඒත් බුදුන් වහන්සේගේ මහා කරුණාවට ඔවුහු ද පාත්‍ර නො වූවෝ නො වෙත්. සිඟාලෝවාද සූත්‍ර ධර්ම පිළිපැදීම ඒ අයට ඉතා පහසු ය. එමඟින් කිසි ම සත්ත්වයකුට හිංසා පීඩා නොවන ලෙස ලෞකික දියුණුව ළඟා කරගත හැකි වේ.