Saturday, January 7, 2012

ධනාත්මක සිතක් පවත්වා ගන්නා හැටි

0 comments
චෛතසික ස්වභාවයන් බොහොමයක් මිනිසා සතුයි. අයෙක් කුතුහලයෙන්, විවෘත බවකින්, සලකා බැලීමකින්, ජවයකින් ලෝකය දිහා බලද්දී තවත් අයෙක් මුරණ්ඩුව, අලසව, කුසීතව, අල්ලා ගත් මතවල එල්බ ඉන්නවා. පළමු වැන්නා ධනාත්මක හැදියාවක් ඇත්තෙක්. දෙවැන්නා ඍනාත්මක හැදියාවක් ඇත්තෙක්. පළමුවැන්නාගේ මොළයේ නියුරෝන ක්‍රියාවලිය නිසා ඇතිවන මොළයේ රසායන මඟින් මොළයත් සිරුරත් නිරෝගී හා වඩාත් ඵලදායී කරද්දී දෙවැන්නාගේ මොළයේ ඇතිවන අහිතකර රසායන මඟින් මොළයත් සිරුරත් රෝගී හා ඵලදායිත්වයෙන් අඩු කරනවා.
ධනාත්මක සිතක් කියන්නෙ හැම තිස්සෙ ම මවා ගත්තු සිනාවකින් තමන් රවටා ගැනීමක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් වල දී ආවේග අත්දකින්න හැකියාව ඇති සිතක්. අනිත් අය තමන් මුහුණ දෙන ආවේගයකින් අඩපණ වෙලා පසුබසිද්දී, එයින් පසුබට නොවී සාර්ථකත්වය කරා ඉක්මණින් යන්න පුළුවන් සිතක් ඇති අයෙක්.
තමන්ව පුරුදු පුහුණු කරගත්තාම ඍනාත්මක හැදියාවක් ඇති අයෙකුට ද, කැමැත්ත හා වෑයමේ තරමට, ධනාත්මක හැදියාවක් ඇති කරගන්න හැකියාව මිනිස් මොළයේ තියෙනවා.
තමා අතින් වූ නිශ්ඵල ක්‍රියාවන් දැක මනස්තාපයට පත් නොවී ඉන්න ධනාත්මකව සිතන්නාට පුළුවන්. ඍනාත්මකව සිතන්නා යම් බලාපොරොත්තු කඩ වීමක දී වෙනත් බලාපොරොත්තු ඇති කර ගැනීමට පසුබටයි. සමහර විට බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඒවා කඩ වේ යැයි කියා බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඈත් වී සිටියි.
යමකින් ඵලක් නැතැයි වැටහීමෙන් එය අත්හැර දැමීම වැඩි උත්සාහයක් නැතිව දරා ගන්න පුළුවන් චෛතසිකයක ධනාත්මකව සිතන්නා ඉන්නෙ. කාලයක්, මුදලක්, කැප කිරීමක් කරපු යමක් නිශ්ඵල යැයි දැක්කාම ඒක අත්හැරලා දාන්න හැකි ශක්තියක් ඇති අය. කාලය, මුදල් හා වෙහෙස යට කරපු නිසා, එහි ම නියැලී ඉන්න අය ඒ ගැන වෙනසක් කරන්න හිතන්නත් අකමැතියි.
ධනාත්මකව සිතන්නෙක් හැම විට ම තමන් ගැන විමසන්නෙක්. නිතරම තමන්ගෙ ප්‍රස්තුත නිවැරදි දැයි සොයා බලන්නෙක්. ඒවා වැරදි නම් නිවැරදි කරගන්න පසුබට නොවෙන්නෙක්.
ධනාත්මකව සිතන්නා තරඟ කරන්නෙ පිරිසිදු බවකින් මිසක් හොර බොරු වංචාවෙන් නෙමෙයි. තමන්ගෙ සිතේ හයිය ගැන විශ්වාසයක් ගොඩ නැඟෙන්නෙ හිතට හොර බොරු වංචා කරලා නෙමෙයි.
එකට එකක් කරන්න හිතෙන ආවේගයන් අයින් කරගන්න ධනාත්මක චෛතසිකයක් ඇත්තාට පහසුයි. මොකද, අනික් එක්කෙනාට වඩා ඉහළින් නෙමෙයි තමන් වැඩ කර යුත්තේ. මා වැඩ ගන්නේ සියල්ලන්ට ම වඩා ඉහළ තැනක ඉන්නා මගේ සිතින්. ඒ නිසා මගේ සිතින් වැඩ ගනිද්දී මා වැඩ කළ යුත්තේ මගේ සිත සතුටු කරන්න මිසක් වෙන කාටවත් පෙන්වන්න නෙවෙයි.
ඒ වගේම ජයකින් මත් වෙන්නෙත් නැහැ. ධනාත්මක චෛතසිකය දන්නවා එයයි ජයගන්නෙ කියලා … ඉතින් ජයගත්තාම කුල්මත් වෙන්නෙ අහවල් කාරියකට ද?!!!
පැරදුනාම කනස්සල්ලෙන් කාලය ගෙවන්නෙත් නැහැ. පැරදුනේ කුමක් හෝ නිවැරදි ව කරපු නැති නිසයි. ඒ කුමක් දැයි සොයාගන්න උත්සාහයේ දී කනස්සල්ලට සිතේ ඉඩක් නැහැ. ඊ ළඟට එය නිවැරදි කරගන්න උත්සාහයේ දී ද කනස්සල්ලෙන් කාලය ගෙවන්න සිතේ ඉඩක් නැහැ.
ඕනෑම වැඩකට අත ගහද්දී ධනාත්මක චෛතසිකයක් ඇත්තාට නීතිමය, ආචාර ධාර්මික හා සදාචාර වූ සීමා දකින්න පුළුවන්. ඒවා පැත්තකට දාලා වැඩේට අත ගහන්නෙ ඍනාත්මකව සිතන අය. ඍනාත්මක සිතක් තමයි නීතිය, ආචාර ධර්ම හා සදාචාරයෙන් බැහැර වි මිසක් නැත්නම් වැඩක් කරගන්න බැහැ කියල හිතන්නෙ.
ධනාත්මක සිතක හැදියාව තමයි සිහින මවන්න හැකියාව තිබ්බට සිහින මාලිගාවක ජීවත් නොවීම.
අපේ හිත්වල ඔටෝමැටික් සිතුවිලි නිතර නළියනවා. ඔටෝමැටික් සිතුවිලි කියන්නෙ යම් දෙයක් ගැන උවමනාවකින් කල්පනා නොකරද්දී හිතේ නළියන සිතුවිලි. ඒ සිතුවිලි මොනවා ද කියා අවධානයක් යොමු කළොත් කොතරම් නිශ්ඵල සිතුවිලි වලට අයෙක් තම මොළයේ කොතරම් ඉඩක් දී තියෙනවා ද කියලා අවබෝධයක් ලැබේවි. ඉතින් හිතන්න, ඒ සියළු සිතුවිලි ධනාත්මක වූ හා අරමුණක් ඉලක්ක කරගත්තා වූවා නම්?!!!
ඉබේම පහළ වන සිතුවිලි ගැන අවධානයක් යොමු කිරීමෙන් ඒවා ධනාත්මකව හසුරුවා ගන්න හැකියාවක් ද පටන් ගන්නවා. උදාහරණයක් මෙසේ ඉදිරිපත් කරන්නම්: තමන්ට නැති අනිත් අයට ඇති දෙයක් දකිනා විට (සිද්ධිය) සිතේ ඒ ගැන අප්‍රසාදයක්/මට ඒක නැහැ/ඕවා මොකට ද? යනාදී වූවක් (ඔටෝමැටික් සිතුවිල්ලක්) හට ගැනීම. එවිට සිතට දැනෙන්නේ දුක, ඊර්ෂ්‍යාව, කුසීත බවක් (චිත්ත ආවේගය) ඉන් මොළයේ හටගන්නා වූ අහිතකර රසායන සිරුර පුරා පැතිර යනවා. ඒ හැදියාවෙන් ගොඩ එන්න නම් තමන්ගේ සිතේ ඉබේම හටගන්නා සිතුවිලි ගැන අවධානයකින් ඉන්න ඕනා. ඇයි මේ අප්‍රසාදය? ඇයි මේ දුක? ඇයි මේ තරහ? ඒ ආවේග වලින් ඉවත් වෙන්න තමන් විසින් නිවැරදි ප්‍රස්තුත වලින් විචාරයක් කරන්න ඕන.
ඉබේම පහළ වන සිතුවිලි වලට අවධානයක් යොමු කිරීමෙන්, ඒවා පහළ වූ සැනින් හඳුනා ගෙන වෙනස් කරගන්න උත්සාහයේ තරමට, වෑයමේ තරමට පුද්ගලයාට ඊට හැකියාව ලැබෙනවා. කිසිම අවස්ථාවක දී, ලෝකයේ සිද්ධ වෙන ඕනෑම සිද්ධියක දී, වෙනත් අයෙක් ගැන හෝ තමන් ගැන වුව ද, අප්‍රසාදයක්, කෝපයක්, හෝ වේදනාවක් ඇති වීම නිසා ඒ ඍනාත්මක සිතුවිලි වලට අරක් ගන්නට තම මොළයේ ඉඩක් දීමෙන් අහිතකර රසායන නිපදවෙන්නේ ද තම මොළයේ ම යි. අහිතකර වූ ඍනාත්මක සිතුවිලි හඳුනා ගැනීමත්, තමා තුලින් ඒවා ඉවත් කර ගැනීමත් සත්‍ය ලෝකයෙන් බැහැර යාමක් නොවේ.

0 comments:

Post a Comment