ධනාත්මක චින්තනයක් ගැන කතා කරන්නට සිදු වී තිබේ. ඒ කුමක් නිසා ද? ඍණාත්මක චින්තනයක් ද ඇති හෙයිනි. ලොව, මෙබඳු තත්ත්ව හැම දා මත් ඇති විය. එබැවින් මෙය අදට සීමා වුණු දෙයක් නො වන බව කිව යුතු ය. ඇතැම් කාලවල ධනාත්මක චින්තනය හොඳින් ක්‍රියාත්මක වේ. තවත් ඇතැම් කාලවල ඍණාත්මක චින්තනය හිස ඔසොවයි. මේ දෙකට ම ස්වාභාවික හේතු බලපායි.
මනුෂ්‍ය වර්ගයාගේ පොදු යහපත උදෙසා සපුරාගත යුතු ඉලක්ක ඇත. එම ඉලක්ක සපුරාගැන්මට ක්‍රියා කිරීමේදී සිතන පිළිවෙළක් ද ඇත. එම සිතන පිළිවෙළ ධනාත්මක චින්තනය ලෙස මට වැටහේ. මෙම ඉලක්ක පොදු මනුෂ්‍ය වර්ගයා සඳහා ම විය යුතු ය.
ඍණාත්මක චින්තනය ලෙස සැලකිය යුත්තේ, ධනාත්මක චින්තනයේ අනෙක් පැත්ත ය. තෝරා ගත් ඉලක්ක සපුරා ගනු පිණිස, ක්‍රියා කිරීමේදී සමාජයේ එක්තරා පිරිසකට වාසි සැලසෙන ලෙස සිතන පිළිවෙළ ය. මේ චින්තන රටාව නිසා මනුෂ්‍ය ප්‍රජාවේ අතිවිශාල පිරිසකට අවාසි සැලසීම අනිවාර්ය වේ.
වාසි ලබාගැනීමට, වස්තු ලබාගැනීමට, යස ඉසුරු ලබාගැනීමට කවුරුත් කැමැති වෙති. එබැවින් ඍණාත්මක චින්තනය සමාජය කෙරේ බලපාන විට, මනුෂ්‍ය ප්‍රජාවේ ඉතා වැඩි පිරිස දුකට පත් වෙති. ඔවුහු පීඩිත පන්තිය ලෙස සමාජයෙන් කොන් වෙති. ඒකාධිපති පාලන ක්‍රම පවතින රටවල මේ තත්ත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වේ. යථෝක්ත පීඩිත පන්තියේ සිත් තුළ, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම පුපුරා යන්නට පටන් ගනී. ඇතැම් දේශපාලන බලකාමීහු මේ තත්ත්වය ආයුධ කරගෙන, දේශපාලන වාසි ලබාගැනීම පිණිස පීඩත පන්තිය – උණුසුම් කරති. ඒකරාශි වීමේ වාසිය පෙන්වා ඒ සඳහා ක්‍රෝධයෙන්, වෛරයෙන් ඔවුන් සන්නද්ධ කරති.

ඍණාත්මක චින්තනය හිස ඔසොවන කාලවල ප්‍රජාව අතර අසමඟිය වර්ධනය වේ. එකිනෙකා අතර විශ්වාසය පලුදු වේ. එක ම පවුලේ නෑයන් අතර පවා ගැටුම් හට ගනී. මේ හේතු නිසා පොදු සාමාන්‍ය හා දුප්පත් පීඩිත ජනතාව තමන්ට අහිමි ව ඇති අපේක්‍ෂා දිනාගනු පිණිස වැඩ වර්ජන, උපවාස, කෝලාහල, මරාගැනීම් වැනි වෘත්තීය ක්‍රියා මාර්ග අනුගමනයට පෙලඹෙති. තම යහපතට හරස් වන කවුරුන් වුවත් මරාදැමීම හරි ය කියා සිතන තරමට මේ තත්ත්වය දියුණු වේ. “තමන් පතන තත්ත්වය වළකින්නේ පියා නිසා නම්, පියා වුවත් මරාදැමිය යුතු ය” කියා ඉගැන්වෙන නීති ග්‍රන්ථ ද ඒ අනුව බිහි විය. කෞටිල්‍ය චානක්‍යගේ අර්ථ ශාස්ත්‍රය එබඳු ග්‍රන්ථයකි.
මනුෂ්‍යයා සතු සියලු ඓතිහාසික යුග ද, පුරාණෝක්ති ද, පාරම්පරික විශ්වාස ද, දේව ඇදහිලි ද, දේව නිර්මාණවාද ද යනාදි ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුම් සම්භාරය ම, විමංසිද්ධිපාදයේ පිහිටින් විමර්ශනයට ලක්කිරීමේදී පෙනී යන්නේ, පූර්වෝක්ත චින්තන රටා දෙක, කලින් කල ලෝකය කැලැඹීමටත්, යළි නිවාදැමීමටත් බල පා ඇති සැටිය යි.

වර්තමානය හෙවත් අප ජීවත් වන මේ ඉන්ද්‍රිය ගෝචර වන ඓතිහාසික යුගය, දෙසට හැරෙමු. එහිදී අපට මේ චින්තන රටා දෙකේ ම බලපෑම් දක්නට හැකි ය. එහි දී ඍණාත්මක චින්තනයේ බලපෑම වඩ වඩාත් වේගයෙන් ඉදිරියට එන සැටි කාටත් ප්‍රත්‍යක්‍ෂ කරුණකි. දෙවන අත්ලාන්තික් යුගයක් කරා අපි ගමන් කරමින් සිටිමු. මෙකල ලොව පුරා සිදු වන ස්වාභාවික විනාශවීම් අනු ව එම තීරණයට බැස්ස හැකි ය.
ශරීරයේ රෝගාබාධ ඇති විට දුක් වේදනා හට ගනී. එවිට ඉන් මිදීමට අවශ්‍ය පිළියම් නොසොයා ඉන්නට බැරි වේ. මනුෂ්‍යාභිවර්ධනය පිළිබඳ අතිදීර්ඝ කතාව ඔස්සේ ආපසු හැරී බැලුවොත් කායික රෝගවලින් මිදීම පිණිස ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට වෛද්‍ය ශාස්ත්‍රය පහළ වූ බව සිතාගත හැකි ය. ඒත් අද දක්වා ම කායික රෝගවල අඩුවක් නැත. පිළියම් සෙවීමේ අඩුවක් ද නැත. අලුත් අලුත් රෝග හටගනී. ඒවාට ප්‍රතිකර්ම ද සොයාගැනේ. මේ තත්ත්වය දිගට ම පවතී.
ඍණාත්මක චින්තනය වනාහි මනුෂ්‍ය ප්‍රජාවට ම පොදුවේ වැලඳෙන රෝගයකි. ඉන් මනුෂ්‍ය ප්‍රජාවට ම දුක උරුම වෙයි. එබැවින් ඊට පිළියම් සෙවීමට සිදු වේ. ඒ අනුව ධනාත්මක චින්තනයක අවශ්‍යතාව මතු වේ.
ලෝක බලවත්තු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස්මූණ පැලඳගෙන, තම අභිමතය පරිදි ලෝක ප්‍රජාව මෙහෙයවීමේ උත්සාහයේ යෙදෙති. ඍණාත්මක චින්තනය ඉතා වේගයෙන් ඉදිරියට එනු පෙනේ. එහි ප්‍රතිඵලය ලෙස ලොව පුරා වෙසෙන ඉතා වැඩි ජනතාවට බඩගින්න, ලෙඩ රෝග, නිවාස නැතිකම, රැකියා නැතිකම වැනි “මූලික මනුෂ්‍ය අවශ්‍යතාවල අවපාතයක්” වර්ධනය වනු පෙනේ. මේ පිරිස පෞද්ගලික හැකියා අතින් හීනයෝ ය. එබැවින් ඔවුහු විවිධ ක්‍රම උපක්‍රම මගින් කෙසේ හෝ තම අවශ්‍යතා සපුරාගැනීමට පෙලඹී සිටිති. පුදුමය නම් මේ දෙපිරිස ම ප්‍රසිද්ධියේ ප්‍රජාතන්ත්‍රය ගැන කතා කිරීම ය.

ඒ අතර පීඩාවට පත් අතිවිශාල පිරිස ද නිකම් බලා නො සිටිති. ගරිල්ලා උපක්‍රම මගින් රහසේ ද, වැඩ වර්ජන, උපවාස, පෙළපාළි, මිනිස් බෝම්බ මගින් එළිපිට ද ප්‍රතික්‍රියා දක්වති.
මේ අතර මේ දෙපිරිස ම මානුෂික හැඟීම්වලින් ද ආධ්‍යාත්මික දියුණුවෙන් ද, දවසින් දවස පිරිහෙති. ධර්මය වනගත වෙමින් පවතී. මීට අදාළ පැරැණි ආප්ත වචන දෙකක් යන්තමින් හෝ මෙහි සඳහන් කිරීම උචිත යයි මට ඇඟේ. ඒ මෙසේ ය.
නිස්සාරා පෘථිවි නිරෞෂධි රසා
නීචා මහත්වං ගතා
රාජා අර්ථ පරායනෝ භුමිතලේ
විප්‍රාන්‍යකර්මස්ථිතාඞ
භාර්යා බන්ධුසු බන්ධ වෛරි හෘදය
පුත්‍රේ පිතුර් ද්වේෂතා
ඉත්ථං භූතමිදං ජගත් කලියුගේ
ධර්මෝ වනාත්ත්‍රං ගතඞ
(ප්‍රත්‍ය ශතකය)
එහි සාමාන්‍ය අදහස මෙබඳු ය:
“දැන් පවත්නා මේ කලියුගයේදී පෘථිවිය නිසරු වන්නට පටන් ගනී. ඖෂධවල රස හීන වන්නට පටන් ගනී. නීච ගති ඇති පුද්ගලයෝ මහත්වරුන් මෙන් උස් අසුන් අරා වැජඹෙති. පාලකයෝ ධනයට කෑදරයෝ වෙති. ජනතාවට නැණ නුවණ දීමට බැඳී සිටින පිරිස වෙන වෙන කටයුතුවල නිරත වෙති. බන්ධූන් ලෙස සැලකෙන භාර්යා, ස්වාමි, පුත්‍ර, දුහිතෘ ආදි පිරිස උනුන් කෙරේ බද්ධ වෛරීහු වෙති. පියවරු පුතුන් කෙරේ ද්වේෂ කරති. ධර්මයෝ වනගත වෙති.”

වෙති මැතිෙඳී ද එපවත්
දැක උන්ගේ පුවත්
බමුණු ගහපතියෝ ද එගනිත්
උන් දැක දනවු වැසි
දන වෙති අදහමට රිසි
රැක උන් වෙත පැහැසි
සුරන් සිතටත් එදම් අදහසි
එ දැක තුරු දෙවියෝ
වෙති අදහම ම සෙවියෝ
එයින’හස දෙවියෝ
කෙරෙති සිත එදහමින් නොවියෝ
මෙලෙසින් අදහමට
නිරිඳුන් ලොව පැමිණි විට
එරදුන් නතු රටට
හමයි විසම ව පවන් දැඩි කොට
එපවන් වැද සැලෙත
නුබ දෙව් විමන් ගමනොත
කිපුණොත් සුරන් සිත
නො වස්වති වැසි ලොවට කර සෙත
රිවි සඳහු ද තොසේ
යන මඟ නො යති පෙර සේ
එසුරන් වත එසේ
නැති ව වැසි සස් කලට නො පැසේ
එක ගමක ද වැසී
වසිතත් සම ව නො වසී
ඉන් විසම ව පැසී
තිබූ සස් වග ඉතා නො රිසී
ඒ අහර කන බොන
දන හට එයින් වෙන වෙන
රෝ දුක් වන බැවින
ලොවට වැඩ අවැඩ නිරිඳුන් ගෙන
(බුදු ගුණ අලංකාරය, 104 – 111 පැදි)

මේ තත්ත්ව හටගන්නේ, සුබා දහමේ බලවේග පහක් මගිනි.
1. කම්ම නියාම ධර්මය,
2. චිත්ත නියාම ධර්මය,
3. බීජ නියාම ධර්මය,
4. ඍතු නියාම ධර්මය,
5. ධම්ම නියාම ධර්මය
මෙයින් 1, 2, 3 යන නියාම ධර්ම සත්තයා (=මනුෂ්‍යයා) කෙරෙහි ඍජු ව ම බලපායි 4, 5 නියාම ධර්ම දෙක වැඩිපුර බලපාන්නේ භෞතික ලෝක කෙරෙහි ය.
බුදු ගුණ අලකාරයේ දැක්වූ පරිදි 1, 2, 3 නියාම ධර්මත්, 4, 5 නියාම ධර්මත් ක්‍රියාත්මක වීමේදී, ඒ
දෙකේ දැඩි සබඳතාවක් පවතින බව පෙනේ. වර්තමානයේ ලොව පුරා සිදු වෙමින් පවතින සිද්ධි මේ අනුව විමසා බැලීමට, එතරම් නුවණක් අවශ්‍ය වේ ය කියා නො සිතමි.
සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්ම මගින් වැඩි දහම් දැනුමක් හා උසස් නුවණක් නැති සාමාන්‍ය ජනයාට, නිවැරැදි ව්‍යවසාය මහින් මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට මඟ පෙන්නා දී ඇත. ඒත් කිව යුත්තකි. ඒ උදාර ප්‍රතිපත්ති පිරිය හැක්කේ තනි තනිවය. (එක් බඳු අදහස් හා මත ඇති අයට එක්ව වුවත් – පිරිය හැකිය) ඍණාත්මක හා ධනාත්මක චින්තන මෙන්, සියලු ලෝකයාට එකට පිරිය නො හැකි ය. එයට හේතුව ලෙස මා දකින්නේ, ධනාත්මක වැඩපිළිවෙළින් සුබා දහමට විරුද්ධ අතට මඳ වශයෙන් හෝ යෑමක් සිදු වීම ය.
සත්ත්වයා යනු තෘෂ්ණාවේ ක්‍රියාත්මක වීම බැවින්, ධනාත්මක චින්තනය ටික කලක් පැවැති අභාවයට යාම සාමාන්‍ය පිළිවෙළ වේ. මෙකල ඍණාත්මක චින්තනය ඉදිරියට එන අතිමහත් වේගය අනුව බලන විට පෙනී යන්නේ, යළිත් අප අත්ලාන්තික් යුගයක් කරා යමින් සිටින බව ය. මේ තත්ත්වය සම්පූර්ණයෙන් නවතාලිය නොහෙන්නේ, එය සුබා දහමේ බලවේගය අනුව සිදුවන බැවිනි. ඒත් බුදු දහම අනු ව මෙයට පිළියමක් ඇද්දැ යි විමසා බලනු වටී.
යහපත් දර්ශනයක පිටිපසින් හෙවත් යහපත් මනුෂ්‍යයකුගේ පිටිපසින් යන විට (අනුගමනය කරන විට) මේ ගැටලුව සම්බන්ධයෙන් උගත හැකි දෑ බොහෝ ඇති බව පෙනේ. අපි බුදුනුවන් ලෙස තෙරුවන පිටිපසින් යන්නෝ වමු. බුදුන් වහන්සේ මෙකල නැතත්, උන් වහන්සේගේ ධර්මයත්, ඒ ධර්මය අනුගමනය කරන සඟ පරපුරත් අපට තව ම අහිමි වී නැත. ඒ අනුව ගියොත් අපට මිනිස් මනසේ දැන් පවත්නා මේ මහා කැලඹුණු ස්වභාවය සංසිඳුවාගත හැකි ය.

1. කාමාසාව හෙවත් ඉඳුරන් පිනවීමේ කැමැත්ත,
2. ඉඳුරන් පිනවීමේදී ඇතිවීමක් නැතිකම
3. සාපිපාසාව
උපන් මොහොතේම සත්ත්වයාට සාපිපාසා හට ගනී. ඒ ගින්න නිවීම පිණිස ආහාරපාන සෙවීම ඔස්සේ සියලු ඍණ බලවේග ලියලා යයි. මේ බලවේග ඍණාත්මක චින්තයට රුකුල් දෙන ඉන්ධනහල් තුනක් වැනි ය. මේ අනුව, ධනාත්මක චින්තනය සඳහා මුලපිරිය යුත්තේ, ඉඳුරන් පිනවීමේ කැමැත්ත (=කාමය) දුබල කිරීමට මුල පිරීමෙනි. ඒ සඳහා අතෘප්තිකර ආසාව (=අරතිය) මැඬපැවැත්වීමෙනි.
මෙහිදී “සා-පිපාසා” ගැටලුව බරපතළ ම ගැටලුව වේ. මන් ද? එය දිවි පැවැත්මට නැති ව ම බැරි දේ බැවිනි. බුදු හිමි, අධික ව ආහාර - පාන ගැනීමත්, නිරාහාර ව සිටීමත් පිළිබඳව අත්හදාබැලීම් කළහ. ඉන් උන් වහන්සේ උගත් පාඩම අපට කියා දුන්හ. ආහාරය පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාව ලෙස ගත හැකි “ආහාරයේ පටිකූල සඤ්ඤා” වැඩීම ඒ පාඩම යි. මෙහි පටිකූල (=පිළිකුල) යන්නේ අරුත් මෙකල වැරැදි ලෙස ඉදිරිපත් කැරේ. පටිකූල යන්නේ තේරුම “අනුකූල” නො වීම ය. ආහාරය පිළිබඳ ව අනුකූල වීම යනු රස තෘෂ්ණාව වැඩෙන ලෙස ආහාර ගැනීම වේ. එබැවින් ආහාරයේ පටිකූල සඤ්ඤා වැඩීම යන්නෙන් අදහස් වන්නේ ජීවත්වීම උදෙසා අවශ්‍ය පමණ දැන ආහාර ගැනීම ය. මෙය භික්ෂූන්ට පමණක් නො ව, ගිහි ජනතාවටත් වැඩදායක වන බව - කෝසල සංයුත්තයේ දැක්වේ. කොසොල් රජ මගධ නැළියෙන් සතරක බත්, රසවත් රජ බොජුන් සමඟ වළඳා බුදුන් ඉදිරියේ හති දමමින් වාඩිවුණ අවස්ථාවේ බුදුන් ඔහුට මේ අනඟි පාඩම කියා දුන් බව, බණ පොත්වල සඳහන් වේ.
තව ද කරණීය මෙත්ත සූත්‍රයේ දී “කාමේසු විනෙය්‍ය ගේධං” යන්නෙන් කාම වස්තු පිළිබඳ ගිජු බව අත්හරින ලෙස බුදුහු උගන්වා වදාළහ.
නූගත් - නුවණ මඳ ජනතාව සමාජයන්හි සැමදාමත් වැඩි ය. ඒ අයට විදර්ශනාව වැඩෙන ගැඹුරු දහම ගෝචර නො වේ. ඒත් බුදුන් වහන්සේගේ මහා කරුණාවට ඔවුහු ද පාත්‍ර නො වූවෝ නො වෙත්. සිඟාලෝවාද සූත්‍ර ධර්ම පිළිපැදීම ඒ අයට ඉතා පහසු ය. එමඟින් කිසි ම සත්ත්වයකුට හිංසා පීඩා නොවන ලෙස ලෞකික දියුණුව ළඟා කරගත හැකි වේ.
0 comments:
Post a Comment